අයියා නංගීගේ දෙවියාය..

වෙලාව හවස 4ට විතර ඇති. එදා සෙනසුරාදා දවසක් නිසා හවසට කන්න මොනවහරි ගේන්නඕන කියලා හිතිලා හංදියේ තියන බේකරියට ගොඩවුනා. හායි ගාලා බේකරිය ඇරලාදාලා බේකරි කොලුවා කොහෙද ගිහිල්ලා. ඉතින් මම ටිකවෙලාවක් බලාගෙන හිටියා බේකරියේ තිබුන පුටුවක වාඩිවෙලා. හිතයටින් තරහෙත් බැහැ. මොකද මෙතන කෑමත් පුරෝල තියෙනවා මිනිස්සුත් ඇවිත් ඉන්නව ඒ මදිවට සල්ලි ලාච්චුවත් ඇරලා දාලා. ඉතින් බැරිවෙලාවත් සල්ලි අඩුවක් හරි උනොත් අපිවනෙ අහුවෙන්නේ.

බැරිමතැන එහාපැත්තේ තියන මගේ යාලුවෙකුගේ කොමියුනිකේශන් එකකට ගිහින් බැලුවා මනුස්සය එතනවත් ඉන්නවද කියලා. මගේ අනුමානේ හරි මනුස්සය කවුද එක්ක බරමබර ටෙලිෆෝන් කතාවක්. මිනිහට නෙවේ වගේ, ඔහේ එල්ලීගෙන කතාව. ඉතින් මම ගිහින් මගේ යාලුවට කිව්වා “මචං අමිල අරෙහේ බේකරිය පිරෙන්න සෙනඟ ඇවිල්ලා මෙයා මෙතන හොඳට කතාවකනේ” කියලා. ඊට පස්සේ අමිල කොල්ලට බේකරිය ගැන කිව්ව විතරයි අර බරකතාව එකපාරටම නවත්තල සල්ලිත් නොදී දිව්වා බේකරියට.

ටිකවෙලාවක් කොලුවා දිහා බලන්හිටපු මම ආයෙමත් හෙමිහිට බේකරිය පැත්තට ගියා. ඇයි දන්නවද හදිසියේ හිටපු මම හෙමිහිට ගියේ? නැත්තං බේකරිය ඇතුලෙ පොරකන්න වෙනවනේ ඒකයි. ඉතින් මම බේකරියට එනකොට දෙන්නෙක්ට වඩා ඇතුලේ හිටියේ නැතිනිසා ලේසියෙන්ම බේකරිය ඇතුලටම යන්න පුලුවන් වුණා. හිටපු දෙන්නත් ටික වෙලාවකින් යන්න ගියා. දැන්තමයි මගේ වාරේ. එකපාරටම කොලුව දිහා බලපු මට දුකකුත් ඇතිවුනා. කෙසඟ, ටිකක් විතර උසට වැඩුනු දේහයක් තිබුනු මේ කොලුවා තවමත් දුවපු වේගෙට හති අරිනවා.

මම එකපාරටම කොල්ලගෙන් ඇහුවා “කොහෙද මල්ලි ගියේ? මෙහේ ඔක්කොම ඇරලා දාලා, කවුරුත් ඇත්තෙත් නැහැ, අනික ඔයා කරන්නේ රස්සාවක් නේද?” කියලා. කොල්ලට එකපාරටම ලැජ්ජ හිතුනා. තමන් කරපු දේ තියෙන බරපතලකම වහගන්න හිතාගෙන කොල්ලා කියනවා “ලාච්චුව ඇරලා ගියාට සර් ඒකෙ සල්ලි තියලනං යන්නෙ නැහැ” කියලා. එතකොට පොඩි හිනාවක් දාපු මම ඇහුවා “මල්ලිගෙ යම කොහෙද?” කියලා. “මගේ ගම මාතර සර්, වලස්මුල්ලේ” කියලා කොලුවා උත්තර දුන්නා.

“ආ ඇත්තද වලස්මුල්ලේ කොහේද?” කියලා මම ඇහුවම කොලුවා කියනවා “ටවුමට කිට්ටුව සර්” කියලා. ඔය කතාව මැද්දෙන් තමන්ගැන විස්තර කරන්න පටන්ගත්ත මේ කොලුවා අහිංසකයෙක් විත්තිය මට තේරුණේ මේ කතාව ඇහුවට පස්සෙයි. “මම ගමට යනවා සර් මට දැන්මේ රස්සාව එපාවෙලා තියෙන්නේ” කියලා එකපාරටම කොලුවා කිව්වේ කියාගන්න බැරි දුකක් හිතේ හිරකරගෙන කියන එක මට යන්තමින් නමුත් දැනුණා.

“ඇයි මල්ලී එහෙම කියන්නේ මොකක්ද ප්රශ්නේ?” කියලා අනිත්පැත්තට මම ඔහුගෙන් ඇහුවා. “මම රස්සාව කරාට බලන්න මගේ අයිඩෙන්ටි කාඩ් එක” කියලා පර්ස්එකෙන් ඇදලා අරන් මගේ අතට ඔහුගේ අයිඩෙන්ටිටි කාඩ් එක දුන්නා. ඒක අලුත්ම අලුත් කලර්ෆොටෝවක් දාලා හදපු ID එකක්. එකපාරටම මගේ හිතකම්පාවුනේ ඔහු ඉපදුනු අවුරුද්ද දැක්කට පස්සෙයි. 1990 තමයි මේ කොලුගැටයා ඉපදිලා තිබුනේ. කොටින්ම තාම 18 ලබලත් නැහැ.

“ඇයි මල්ලි දැන්මම රස්සා කරන්නේ? ඔයාට තාම 18 වෙලත් නැහැනේ” කියලා මම ඇහුවේ හිතේ ඇතිවෙච්ච කුතුහලය නිසාමයි. “ඔව් සර් මගේ වයසේ යාලුවෝ 2009 උසස්පෙළ ලියනවා” කියලා කොලුව කිව්වේ මඳක් දුක්මුසු හඬකින්. “මම මේ රස්සාව කරන්නේ නැතිබැරිකම හින්දමයි සර්” කියලා කොලුවා කිව්වේ කඩාහැලුනු උරහිස් සහිතව බිමබලා ගනිමින්. මට හරිම අනුකම්පාවක් ඇතිවුනා ඒ වෙලාවේ. මම ඇහුවා “මල්ලිට මොකද වුනේ මේවගේ තත්ත්වයකට වැටෙන්න” කියලා. ඒ විදිහට මම ඇහුවේ මේ කතාවගැන යමක් ලියන්න ඕන කියලා හිතුන නිසාමයි.

“අපිට ගොඩාක් වතුපිටි තිබුන අය සර්.”

“මම තමයි පවුලේ වැඩිමලා.”

“මට තව මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා.”

“මගේ ගෙදර හැම පහසුකමක්ම තිබුන, ගමේ තිබ්බ ලොකුම ගෙදර තමයි.”

“මගේ තාත්තට ප්රසිද්ධ පොටෝ සාප්පුවක් තිබුනා.”

“මගේ අම්මා ගොවිතැන් බලාගෙන ගෙදරට වෙලා හිටියා.” ඔය විදියට කොලුවා මට තමන්ගේ මුල්කාලය ගැන දිගටම කියාගෙන ගියා.

මට ඉතින් පුදුමෙනුත් පුදුමයි මේ දරුවගේ කතාවට. කොලුව ටිකක් නිහඬව ඉඳලා ආයෙත් කතාව පටන්ගත්තා.

“මමයි මල්ලියි ඉගෙනගත්තේ දෙබරවැව සෙන්ට්රල් කොලේජ් එකේ.”

” ඒ කාලේ මගේ නංගි පොඩියි.”

“අපි පවුලක් විදිහට කොන්ද කෙලින් කරන් හිටියා සර්.” එහෙම කියන ගමන් කොල්ලට එකපාරටම ඇඬුනා.

“ඉතින් මල්ලි මොකද ඊට පස්සේ උනේ”

“අපේ තාත්තට සල්ලි තිබ්බ නිසාම බීමට ඇබ්බැහිවෙලා හිටියේ.”

“අනේ ඒත් අම්මට, අපිට කිසිම කරදරයක් නං කරේ නැහැ.”

“තමන්ගේ පාඩුවේ තමයි හිටියේ.”

“එක දවසක් තාත්තට අසනීපවෙලා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරා.”

“මමයි අම්මයි දුවගෙන ගියා ඉස්පිරිතාලෙට.”

“තාත්තට තිබුන ආබාදය මොකක්ද කියලා මට තේරුණේ නැහැ එකපාරටම”

“මොකද මම එතකොට ටිකක් පොඩියි”

“ඒත් තාත්තගේ හදවතේ නහරයක් හීනි වෙච්ච නිසා “බයිපාස්” ඔපරේෂන් එකක් කරන්න ඕන කියලා දොස්තර මහත්තයා අම්මට කියනවා මට යන්තමින් වගේ ඇහුණා”

“මුලින්ම දොස්තර කිව්වේ ඉන්දියාවට යවන්නවෙයි කියලා.”

“ඒත් අපි තාත්තව ගාල්ලේ හිටපු ප්රසිද්ධ දොස්තර මහත්තයෙක්ට පෙන්නපු වෙලාවේ, එතුමා ලංකාවේ ඇපලෝ රෝහලේ සැත්කම කරන්න කටයුතු සලසලා දුන්නා”

එහෙම කියන ගමන් කොලුවා ටික වෙලාවකට නිහඬවුනේ බේකරියට දෙතුන් දෙනෙක් ආපු නිසයි.

ඔන්න ඒ අය යන්නගිය හින්දා කතාව ආයෙත් පටන්ගත්තා.

“ඉතිං සර් ඔපරේෂන් එකට ලක්ෂ ගණනක් ඕන කරනවග දොස්තර මහත්තයා අම්මට කිව්වා”

“සල්ලි වලට වඩා ජීවිතේ වටින නිසා අපි තාත්තගේ පොටෝ සාප්පුව තාත්තගේ ගෝලයට විකුණුවා බඩුත් එක්කම ලක්ෂ හතරහමාරකට”.

“අපිට තිබුණු ඉඩම් වලිනුත් කොටසක් විකුණලා සල්ලිටික හොයාගෙන ඔපරේෂන් එක කරා”

“අපි හිතුවේ ඒත් තාත්තා ජීවත් නොවේවිය කියලා” කියමින් කොලුවා දිග සුසුමක් ඇරියා.

“අපි ඊටපස්සේ හිතුවේ වියදම් ඉවරයි කියලා, ඒත් තාත්තව ඇපලෝ ඉස්පිරිතාලේ දැඩිසත්කාර ඒකකයේ දවස් හතරක් තියන්න ඕන කියලා දොස්තරලා කිව්වා.”

“මොනවා කරන්නද සර් අපිට ඉතිං දැන් මහා සල්ලියකුත් නැහැනේ.”

“ඉතිරිවෙලා තිබුනු ඉඩකඩං වලිනුත් ටිකක් ආයෙත් විකුණලා ඒ සල්ලි පියවුවා.”

“ඔහොම තමයි සර් අපේ පවුලේ බිඳවැටීම පටන්ගත්තේ”

“ඉතිං ඇයි මල්ලී ඉස්කෝලෙ යනඑක නවත්තලා මේ රස්සාවට ආවේ? අම්මා ඉන්නවනේ තාත්තව වගේම පවුල බලාගන්න” කියලා මම ඇහුවේ හිතේ ඇතිවුනු කුතුහලය නැතිකරගන්න හිතාගෙන.

කොලුව දුන්න උත්තරයෙන් මාව මොහොතකට ගොලුවී ගියේ කරකියාගත නොහැකි අන්දමකටයි.

“තාත්තව ගෙදර එක්කං ගිහිං සතියකින් මගේ අම්මා නැතිවුනා සර්” කියලා කොලුවා කිව්වේ ඇස්වල කඳුලු පුරෝගෙන.

මට ඒ දරුවගේ දෙනෙතින් වැටුනු කඳුලක බර දැනුනේ ඒ මොහොතේදී තමයි.

“අම්ම හිටියනං මට මෙහෙම දුක්විඳින්න වෙන්නේ නැහැ සර්. මමත් ආසයි සර් ඉගෙනගන්න.” කියලා කොලුව කිව්වම මට හිතුනේ අපි කොච්චර වාසනාවන්තද කියලා. “ඉතිං මල්ලි මොනවා වෙලාද අම්මා නැතිවුනේ?” මම එහෙම ඇහුවේ තව දුරටත් කතාව අහන්න ඇතිවෙච්ච ඕනෑකම නිසයි.

“තාත්තා ගෙදර ගෙනැල්ලා තාත්තව ඇඳේ තියාගෙන සලකපු අම්මා ඒ දවස්වල නිදියගත්තේ ඇඳලඟ බිම. ඉතින් ඔහොම නිදාගෙන ඉද්දි අම්මව තෙල්කරවලෙක් කාලා තමයි අකාලයේ අපෙන් ඈත්වුනේ”

“අනේ මල්ලි දැන් තාත්තා කොහෙද ඉන්නේ?”

“තාත්තාදැන් සමාජ සේවේ කරගෙන ගමට වෙලා ඉන්නවා” කියලා කොලුවා කිව්වේ හරිම දුකෙන්.

“එතකොට මල්ලි ඔයාගේ මල්ලියි නංගියි කොහෙද ඉන්නේ”

“මල්ලි ගිය සතියේ මහණ වුනා සර් එයාට නං දැන් ප්රශ්නයක් නැහැ සර්”

බලන්න ජීවිතේ හැටි. පුදුම දෙයක් තමයි දෛවය කියන්නේ. “එතකොට නංගි?”

“නංගි පුංචි කෙනෙක් ගාව හැදෙනවා”

“නංගිට උගන්නන්න තමයි සර් මම මේ දහදුක් විඳින්නේ”

“මට බැරිවෙච්ච දේ නංගිට කොහොමහරි ලබාදෙනවා සර්”

ඒ කීම ඇහුව මට හිතුනේ පුංචි කොලුගැටයෙක් මුණගැහුනට වඩා, නංගි ගැන වදවෙන නංගිගේ අනාගතය වර්තමානයේ ඉඳන් දකින අයියා කෙනෙක් මුණගැහුන විදියටයි.

මේ දරුවගේ කතාව ඇහුව වෙලේ මගේ හිතේ ඇතිවුනේ අප්රමාණ දුකක්. අපි හොඳට කාලා බීලා ජීවත්වුනත් උලාකාගන්නවත් බැරිතරමේ අසරණුන් අපේ සමාජයේ කොච්චර ඉන්නවද කියලා මට හිතුනේ කම්පාවක් හිත ඇතුලේ ඉතිරි කරමින්.

මම ඔහුට මගේ ආයතනයේ කිසියම් රස්සාවක් හොයලා දෙන්න පොරොන්දුවක් දෙනගමන්ම හවසට කන්න කෑමත් අරන් එන්න පිටත්වුනා. අවසන් වශයෙන් මට හිතෙන්නේ, බුදුන්කල සිටි පටාචාරාවගේ ජීවිතයට මඳක් සමීපවූ ජීවිතයක අත්දැකීම් ගොන්නක් මඳකට විඳින්නට අවස්ථාව උදාවූ විදිහටයි.

1 comment so far

  1. Sadeepa Palliyaguru on

    ඉතාම සංවේදී සටහනක්. අපි හැම විටම කියවන්න කැමති රසවත් , සතුටු හිතෙන දේවල් විතරයි… මේ වගේ දේවල් කියවීමෙන් ජීවිතය ගැන ඉගන ගන්න තව දේවල් තියන බව තේරුම් ගන්න පුලුවන්..


Leave a reply